Friday, February 7, 2014

ඔය කණ නොවෙයි යෝදියේ මේ කණ (A Story Of Touch Hole)


ගොම්මන් අඳුර වැටීම සමග රතු බණ්ඩා ගෙට ගොඩවූයේ රෑට මොනවා හෝ කා හේනේ පැල් රැකීමට යාමටයි. දින කිහිපයකට උඩදී කැන්දාගෙන ආ තම හාමිනේ ගෙදර තනිකර යාමට ඔහු සිත නොදෙයි. ඇයගේ මුහුණෙන් ඉරියවු වලින්ද අකමැත්ත ප්‍රකාශ වේ.  ඔහේ රෑට පැලට යනවිට මමත් ඇන්න යන්න බැරිද? ලෙස ඇය ඇසුවේ බැරිම තැනය. තනියෙන් පැලේ සිටිනවාට වඩා හාමිනේ සමග යාමට රතු බණ්ඩා උඩින්ම කැමති වුයේ ගෙදර මවුපියන් සිටින නිසා ඇය සමග නිදහසේ ගතකිරීමට අපහසු බැවිනි.

පැලට තම හාමිනේ කැටුව ගිය රතු බණ්ඩා ගිනිමැලයක් දල්වා ගත් ඔහු තම ගිනි කඳයා සුද්ද පවිත්‍ර කර වෙඩිබෙහෙත් දමා මුනිස්ස්ම් දමා සුදානම් කර ගත්තේ තම හේන පාලුකිරීමට එන වල් සතෙකු දඩයම් කර ගැනීමටය. තමා බිරිඳ සමග පැමිණි බව දත් අසල්වැසි හේන් වල සිටින ගොවියන්ගේ විහිළු කවිවලට පිළිතුරු දීම මගහරිමින් ජීවිතය රසවිඳිමින් සිටි බැවින් හාමිනේ විඩාබරව නින්දට වැටිණි.

මැදියම් රැය පසුවී ඇති බැවින් රතු බණ්ඩාට අඩනින්දේ මෙන් සිටින විට එක වරම රැහැයි නාදය අතරින් වියලි කොළ පොඩිවෙන සද්දයක් ඇසීම සමග රතු බණ්ඩා විමසිලිමත් විය. ඔහුට දැක ගන්නට ලැබුනේ ඔහුගේ හේනට පැමිණ සිටි වල් ඌරු තඩියෙකි. හීන් සීරුවේ තම තුවක්කුව අතට ගත් රතු බණ්ඩා ඉලක්කය ගන්නා ලදී. ඔහු සතුව තිබුනේ කැප් තුවක්කුවක් නොව වෙඩිබෙහෙත් සහ මුනිස්සම් පුරවා ගිනි ඇවිලිය යුතු තුවක්කුවකි. නිදිමත විකාරයේ සිටි ඔහුට ඉලක්ක ගැනීමට පෙර තුවක්කුව පත්තු කිරීමට ගිනි පෙනෙල්ලක් අසලට ගැනීමට බැරිවිය. තමා ගිනිමැලය අසලට ගියහොත් තමා ගත් ඉලක්කය මගහැරෙන බැවින්  නිදන තම හාමිනේ කූද්දන ලදී.

රතු බණ්ඩා - (රහසින් මෙන්)මේ මේ පොඩ්ඩකට එනවාද?
හාමිනේ - මොකෑ මගේ ඇත්තෝ මේ රෑ?.
රතු බණ්ඩා - අන්න ඌරෙක් ඇවිත් මම ඌට ගිනි කඳයා මානනවා.
හාමිනේ - ඉතින්.
රතු බණ්ඩා - සද්ද නැතිව ගොහින් අතනින් ගිනි පෙනෙල්ලක් ගෙනෙන්.
(හාමිනේ හිමින් ගොස් ගිනිපෙනෙල්ලක් ගෙන ආවේය.)
හාමිනේ - ආ ගන්න.
රතු බණ්ඩා - මම ගිනි බිදින්න ගියොත් මානම වරදින්න පුළුවන්. මම හොඳට එල්ල කරලා ඉන්නේ. දැන් ඕක ඉක්මනට මේ කණේ ඔබන්න.
හාමිනේ - අනේ මට බයයි.
රතු බණ්ඩා - මොකෑ බයවෙන්නේ ඉක්මනට ඔබපිය.
හාමිනේ - අනේ මයේ දෙය්යෝ බීරි උනොත්.
රතු බණ්ඩා - මම ගිනිබිදින්න කෝඩුකාරයෙක් යැ. වෙඩි සද්දෙට කණ පැලෙන්න. මගෙන් මොනවත් නාහා ඉක්මනට ඔබපිය.
හාමිනේ - මයේ ඇත්තෝ කියන නිසා කොරන්නම්.
රතු බණ්ඩා - තවත් කියවන්නේ නැතිව ඕක ඔබාපිය. නැත්නම් උබේ අදෝනාවට අරූ වහන්වෙයි.
(හාමිනේ ගිනි පෙනෙල්ල කණේ ඔබයි.)
රතු බණ්ඩා - @#$$@@@#$%$^&$%& මගේ අම්මෝ! ඔය කණේ නොවෙයි ගෑනියේ මේ කණේ.
හාමිනේ - මට බැනලා හරියනවයි කලින් කියුවානම් නරකෙයි.
(හාමිනේ ගිනි පෙනෙල්ල අනෙක් කණේ ඔබයි.)
රතු බණ්ඩා - පට්ට @#$$ තෝ මගේ අනෙක් කණත් පිච්චුවා නෙව. @#$$@@@#$%$^&$%& මදැයි මමත් ඉඳලා ඉඳලා කැන්දන් අවේ ගොන් බඳින කණුවක්. ගෑනියේ මම ගිනිපෙනෙල්ල ඔබන්න කියුවේ මගේ කණේ නොවේ තුවක්කුවේ කණේ. මෙන්න මේ මගේ අත තියෙන තැනට ඉස්සරහා හිලේ ඔබපිය තවත් මගෙන් කුණුහරුප අහගන්නේ  නැතිව.

එවර නම් ගිනි කඳයා පත්තුවිය. නමුත් මේ කලබලය අස්සේ ඌරා දුවා ඇති බැවින් පලක් නොවීය. මෙම තුවක්කු වල ගිනි ඇවිලවීමට ඇති සිදුර(Touch hole/Flash hole) සිංහලෙන් කණ ලෙස හදුන්වන ලදී. රතු බණ්ඩා කියුවේ තුවක්කුවේ කණ ට ගිනි පෙනෙල්ල ඇතුල් කරන ලෙස වුවත් හාමිනේ තේරුම් ගත්තේ වැරදියටයි.  වැරදි කරු තුවක්කුවේ කණ නොදත් හාමිනේද? ඇය තුවක්කුවේ කණ පිළිබඳව දන්නවා ලෙස උපකල්පනයෙන් කල යුතු දේ නිවැරදිව පැහැදිලි නොකළ රතු බණ්ඩා ද? අදටත් බොහෝ වලි වලට හේතුව මෙසේ වැරදි අවබෝදය සහ සන්නිවේදන දෝෂ වේ.

තුවක්කුවේ කණ

අසමි දකිමි සොයමි බ්ලොග් එකෙහි විචාරක මහතාගේ  සංග්‍රාමයේ පියසටහන් (දෙවැනි කොටස)  ලිපිය කියවන විට මතකයට නැගුනු කුඩා කල මා අසා ඇති කතාවක් ඇසුරෙන් නිර්මාණය කරන ලදී.

සේයාරූ
http://www.vikingsword.com/vb/showthread.php?t=10481&highlight=matchlock
http://www.shutterstock.com/pic-53896900/stock-photo-portrait-of-young-caucasian-couple-on-gray-portrait-of-young-caucasian-couple-on-gray-girl-is.html

Thursday, January 9, 2014

වැරදිකරු ගුරුවරයාද?(Who is Haim Ginott)

Concentration camps

මෙම ලිපිය ලිවීමට පාදක වුයේ මෙයට වසර 13 කට පෙර මම උසස් පෙළ ලියනලද වසරේ මාගේ සංයුක්ත ගණිත උපකාරක පන්ති ගුරුවරයා වූ ජනක අබේවර්ධන මහතා දුන් නිබන්දනයක කවරයේ තිබුණු නිසදැසකි. එය මගේ හිතට හොඳටම අවශෝෂණය විය. එය දෙවන ලෝක යුද්ධය හා සම්බන්ද දෙයක් වන අතර සිංහල පරිවර්තනයකි. එහි පරිවර්තක කවුද කියා මා නොදන්නා අතර එම පරිවර්තනයද දැනට මා සතු නොවේ.  ළඟදී එය අහබු ලෙස මට මතක් විය. අන්තර්ජාලය පීරා සෙවුව මුත් සිංහල පරිවර්තනයක් හමු නොවීය. එබැවින් එහි ඇතැයි සැක කරන ලද ඉංග්‍රීසි වචන යොදා සොයන ලදී. මට එය හමුවිය. එය ගුරුවරයෙක් මෙන්ම ළමා මනෝවිද්‍යාඥයෙක් වන ආචාර්ය හයිම් ගිනොට්(Haim Ginott)  විසින් ලියන ලද නිසදැසකි. එය ඔබ අතට පත් කිරීමට මම එය පරිවර්තනය කරන ලදීමි.

දයාබර ගුරුවරුනි.
මම රැඳවුම් කඳවුරක සිට දිවිගලවා ගත්තෙක්මි. කිසිවෙක් නොදැකිය යුතු බොහෝ දේ මම දැක ඇත.
දැනුමැති ඉංජිනේරුවන් සාදන ලද ගෑස් කාමර.
උගත් වෛද්‍යවරු විසින් වසදුන්  ළමයින්.
පුහුණු හෙදියන් විසින් මරණ ලද ළදරුවන්.
උසස් පාසල් සහ විශ්ව විද්‍යාල වල ඉගෙනගත් අය විසින්
මරා පුළුස්සන ලද ගැහැණු සහ ළමයින්.
මට සැකයි අධ්‍යාපන ක්‍රමය ගැන.
ගුරුවරුනි උදවු වෙන්න සිසුවන්ට මිනිසුන් වීමට.
 ඔබගේ මහන්සිය මගින් උගත් රාක්ෂයන්, දක්ෂ මනෝව්‍යාධිකයන් සහ දැනුමැති වදකයන් බිහිවීමට ඉඩ නොතබන්න.
කියවීම, ලිවීම සහ ගණිතකර්ම වැදගත් වන්නේ එමගින් අපගේ ළමයින් මිනිසුන් වන්නේ නම් පමණි.


ඊස්රායල ජාතිකයෙක් වන  ආචාර්ය හයිම් ගිනොට් 1922 උපත ලද්දෙකි. 1947 දී ප්‍රථමික පාසල් ගුරුවරයෙක් ලෙස වෘර්තීය දිවිය ආරම්භ කල ඔහු එක්සත් ජනපදයට සංක්‍රමණය කර කොලොම්බියා සරසවිය මගින් 1952 දී සායනික මනෝවිද්‍යාව පිළිඹඳ ආචාර්ය උපාදිය ලබාගත්තෙකි. ළමා මානසික සංවර්ධනය පිළිඹඳ ක්‍රමවේද වල පුරෝගාමියෙක් වන ඔහුගේ ඉගැන්වීම් අද පවා භාවිතා වේ. එසේම ඔහුගේ Between Parent and Child නම් කෘතිය වර්තමානයේ පවා ඉහලින්ම අලවිවෙන කෘති අතර පවතී.

ඉංග්‍රීසි නිසදැස ද රසවිඳ බලන්න.
Dear Teachers,
I am a survivor of a concentration camp. My eyes saw what no man should witness.
Gas chambers built by learned engineers.
Children poisoned by educated physicians.
Infants killed by trained nurses.
Women & babies shot & burned by high
school & college graduates.
So I am suspicious of education.
My request is that teachers help students become human.
Your efforts must never produce learned monsters, skilled psychopaths, educated Eichmanns.
Reading, writing, and arithmetic are important only if they serve to make our children more human…..

ආශිත ලිපි
wikipedia

ඔහුගේ කෘති
goodreads

සේයාරූ
https://www.trumanlibrary.org/photographs/view.php?id=3858
https://www.goodreads.com/photo/author/212291.Haim_G_Ginott

පසුව ලියමි.
මෙම ලිපිය කියවූ හිතවතුන් කිහිප දෙනෙක්ම කමෙන්ට් වලදී මෙය රසවත්ව විවිද අයුරෙන් අනුවර්තන සහ පරිවර්තන පලකලා. එම සියලු දෙනාට විශේෂ ස්තුතිය.
-----------------------------------------------------------------------------------------------------------
මුලින්ම පරිවර්තනයක් දුන්නේ සඳුන් සෙවණ ලියන චන්දන ගුණසේකර සොයුරා. 

ගුරැවරැන් වෙත දයාබරිණී,

මිඳුනෙමිය මා වධකාගාරයකින්....
එහිදී මා දුටුදේ
ලොවෙහි කිසිවෙකුත් නොදුටුව යුතුමය.....
ඉංජිනේරැවෝ ගෑස් කුටි තැනූහ
උගත් දොස්තරැන් ළමුන්ට වස කැවූහ
පුහුණු හෙඳියන් මැරීය ළඳරැවන්
උසස් උපාධි ඇත්තෝ වෙඩි තැබුවෝය ගැහැණුන්ට හා දරැවනට
ප්‍රිය සබඳ,
ගැටළුවකි මට මේ අධ්‍යාපනය
ඔබලා කලයුත්තේ සිසුන්ගෙන් මිනිසුන් බිහිකිරීම පමනක් බැව් මගේ ඉලිලීමයි..
එම උත්සහය කිසි කළෙක
උගත් අළුගෝසුවන් බිහි නොකල මනාය...
කියැවීම , ලිවීම හා ගණිතය අප දරැ කැළ උසස් මිනිසුන් කෙරැමට පමනක්ම වැදගත් වන්නේය....

-----------------------------------------------------------------------------------------------------------
අපේ දේශක මහතාගේ සංස්කරණය නොකළ අනුවර්තනය මෙන්න.
මේකයි මගේ කතාව
පුළුවන් නං තේරුං ගන්න

මං බේරුනෙ අනු නමයෙන් මහ බයානකම වදකාගාරයෙන්
මම ඒකෙදි දැක්ක දේවල් මොකාවක් දකින්න තියා හිතන්නෙවත් නැහැ.
ඒ තරං තුච්ඡයි. 

මං හිටිය වදකාගාරේ වදක වැඩ කරේ කව්ද? 
හොදට ඉගෙන ගත්ත ඈයෝ තමා ඉතිං. අහන්නකෝ

ඉංජිනිනේරුවෝ කරේ පුච්චන්න ගෑස් කාමර හදපු එක...
බෙහෙත් දෙන දොස්තරල කරේ පොඩි උන්ට වස දෙන එක
ඉපදෙන්න අත දෙන නර්ස්ලා කරේ අළුත උපන් බිළිදෝ මරණ එක
ඔය උපාධීකාරයෝ කරේ ගෑනූ ලමයි වෙඩි තියල මරල වීසි කරන එක

අන්න ඉගෙන ගත්තු අය කරන වැඩ

එතකොට මේකද මේ අධ්‍යාපනේ කියන්නේ.. නරුමකම.. අමනුස්සකම
අපි ළමයින්ට දැනුමද දෙන්න ඕන මනුස්සකමද
ඒකයි තේරුම් ගන්න ඕන

ඒක ඔබ තේරුම් ගත්තොත් නැවත කවදාවත්
උගත් නරුමයන් පමණක් ලොවට දායාද නොකරනු ඇත
අප ලියන කරන දෙයෙහි, උසස්ම වෘත්තීන්හි අගය රැදෙන්නේ
ඒ අය තුල උතුම් වූ මනුස්සකම ගෑවි හෝ තිබුනොත් පමණි...

------------------------------------------------------------------------------------------------------------
ඔමාගේ හීන ලියන අපුර්වී ඕමයා සොයුරිය අපුරු පරිවර්තනයක් කළා මෙන්න ඒක.

ආදරණීය ගුරුවරුණි,

දිටිමි මිහිබට නිරය
මා දෙනෙත විදි ඒ අපුල 
නුබලානම් කෙදිනකවත් නොවිදිය යුතුමය
ලේ මස් නහරෙන් සැදි ජීවිතය යදින්නන්
අමු අමුවේ පුච්චන්න.. 
නැණබෙලෙන් පිරි ඉජිනේරුන් 
තනන ලද වායු කුටි;
හෙදකමින් වෙදකමින් මහිමවත් අත්මතින් 
මරණ යුරු ළදරුවන්,
ඉහළ හිණි පෙත්ත මත බුද්ධියෙන් අගතැන්වූ 
ගැහැණු මිනිසුන් අතින් 
වෙඩිතබා පුලුළුස්සපු....
දරු පැටවූ තුරුලේ හොත් 
තරුණ මව්වරුන්ගේ අගුරු වූ මලකදන් 
සිහිවෙද්දී ...
සැකය මට 
අධ්‍යාපනේ කොයිබටද යන්නේ මේ ....
ගුරුවරුණි .......
නුබ අතින් 
උගත් රාක්ෂයින් ,
නිපුනතා පිරි මානසික විකුර්තිකයන් 
උගත් ඒච්මන්ස්ලා 
තවත් නම් බිහි නොවිය යුතුමය.
ෂාක්ෂරතාවෙන් අංකගණිතයෙන් 
මොන ප්‍රථිපලයක්ද 
එයින් යහපත් මිනිසුන් බිහිනොකරන තාක් 

------------------------------------------------------------------------------------------------------------
මෙන්න කුරුන්ද ලියන සෙන්නා ගේ අනුවර්තනය 

ගෞරවණීය ගුරුවරුණී,

තොපලා මේ සිදු කළේ කුමක්ද ? කියවීම, ලිවීම, ගණිතය ඇසුරෙන් පමණක් මිනිසුන් බිහි නොවනා බව නුඹලා තේරුම් ගන්නේ කවදාද ?
තොපගේ උත්සහයෙන් බිහිවන්නේ මෘගයන්නම් තොපගේ උත්සහාය ගගට කැපූ ඉණි මෙනි. මම ඒ බවට සාක්ශි දරමි.
නුඹලාගේ සිසුන්, ඉන්ජිනේරුවන් වූ අති දක්ශයන් මිනිසුන් මැරීම උදෙසා වායු කුටීර තැනුවෝය. මම එය දුටිමි.
නුඹලාගේ සිසුන්, වෛද්‍යවරුන් වූ අති දක්ශයන්, ළදරුවනට වස පෙවූහ. මම එයද දුටිමි.
නුඹලාගේ සිසුන්, උපාධි ධරයන් අහිංසක ළදරුවන්ට හා කාන්තාවන්ට වෙඩි තබනා අයුරුද මම දුටිමි.
ඉඳින්, මා නුඹලා ගැන තවදුරටත් කුමක් සිතම්ද ?

අවසානයේදී ඔවුහූ මා නිදහස් කළහ. එබැවින් මා නුඹලාගේ වැරදි වෙනුවෙන් සාක්ෂි දරමි

------------------------------------------------------------------------------------------------------------
එකම නිසදැස විවිද අයුරින් එම තේරුම සහිතව රසවිඳින්න පුළුවන්. විවිද ආකාරයට නිර්මාණ ඉදිරිපත් කිරීමට අදහස් දුන් දේශකයාට විශේෂ ස්තුතිය.

Wednesday, January 1, 2014

අන්තර්ජාලයෙන් මුදල් පිළිඹඳ යථාර්තය, ප්‍රෝඩාව සහ වංචාව(Truth Of Internet Money In Sri Lanka)

මම කලින් ලිපිය මහින් අප රට 2013 වසරේ ගුගල් සෙවීම් වලින් වෙන රටවලට සාපේක්ෂව ඉදිරියෙන් ඉන්නේ sex වලින් පමණක් නොවන බව පෙන්වා දෙන ලදී. එසේ ඉදිරියෙන් ඉන්න අනෙක් අංශ වලින් එකක් වන්නේ  Internet Money හෙවත් අන්තර්ජාල මුදල් වේ. එබැවින් අනිවාර්යෙන් ඔබ ඒ ගැන අසා ඇති. සමහර විට ඔබ අන්තර්ජාලය මගින් මුදල් සොයනවා වෙන්න පුළුවන්.  අනිවාර්යෙන්ම මෙය කියවන අය අතර ඉන්නවා මේ ගැන නිවැරදි අවබෝදයක් නැති පිරිසක්. අන්න ඒ පිරිස ඉලක්ක කරගෙන බිහිවූ ප්‍රෝඩා කාරයන් සහ වංචා කාරයන් පිරිසක් මේ වෙන විට බිහිවී අවසානයි. ඔවුන් දැනට වසර ගණනාවක සිට ක්‍රියාත්මකයි. මෙම ලිපියේ අරමුණ එවැන්නන්ට යමෙක් රැවටීමට ඇති ඉඩකඩ අවම කිරීමයි. මම මේ ලිපිය ලියන්නේ මේ පිළිඹඳ කිසිවක් නොදන්නා අය මෙන්ම දන්නා අයටද යමක් ගත හැකිවන පරිදි වේ. එබැවින් ඔබ සියලු දෙනාට මෙය වැදගත්වේ යයි සිතමි. මේ ගැන ඔබට ඇති විය හැකි ගැටළු කිහිපයක් සහ ඒවාට මගේ පිළිතුරු.

අන්තර්ජාලය මගින් මුදල් සොයන්න පුලුවන්ද?

ඔවු අනිවාර්යෙන්ම පුළුවන්. අන්තර්ජාලය කියන්නේ එක් ව්‍යාපාර ක්ෂේත්‍රයක්. බොහෝ වෙබ් අඩවි වල පරමාර්ථයම මුදල් සෙවීම. ඒ සඳහා විවිද ක්‍රම තියෙනවා. පොඩ්ඩක් හිතන්න Google, Facebook, eBay, Paypal, Amazon වගේ විශාල වෙබ් අඩවි කියන්නේ අන්තර්ජාලයේ සිදුවන ව්‍යාපාර. ඔවුන් කරන්නෙත් අන්තර්ජාලය මගින් මුදල් සොයන එක. අපිටත් වෙබ් අඩවි හෝ  බ්ලොග් එකක් සාදා ගැනීම මගින් සල්ලි හොයන්නත් පුළුවන් නැත්නම් අන්තර්ජාලය හරහා අපේ බාණ්ඩ සහ සේවා විකුණා මුදල් සොයන්න පුළුවන්. තව ලංකාවේ කොටස් වෙළඳපොල වැනි දේ සමග ගනුදෙනු සඳහා අන්තර්ජාලය බාවිතා කරන්න පුළුවන් නමුත් එය අන්තර්ජාලය මගින් සිදු කරන මුදල් සෙවීමක් ලෙස නම් කරන්න බැහැ. එයට අමතරව මුදල් මිලදීගැනීම සහ හුවමාරු කිරීම හෙවත් Forex මගින් මුදල් සොයන්න පුළුවන් එය මම දන්නා පරිදි ලංකාවේදී තහනම් දෙයක් ඒ වගේම මම මෙය අනුමත කරන්නේ නැහැ.

අන්තර්ජාලය මගින් මුදල් සොයන්න පුළුවන් කාටද?

බබෙක් නොවන ඕනෑම කෙනෙකුට පුළුවන්. සමහර පාසල් සිසුන් පවා මේවාට යොමු වීම එක ව්‍යසනයක්. එබැවින් ඔවුන්ට වැඩිදුර ඉගෙන ගැනීමට ඇති අවස්ථා පවා මින් අහිමි වෙන්න පුළුවන්. ඒක නිසා මගේ අදහස මෙය ඔවුන්ට එතරම් හොඳ නැහැ. ඔවුන් හැර සියලු දෙනාට අමතර මෙන්ම ප්‍රධාන අදායම් මග ලෙස මෙය යොදා ගන්න පුළුවන්. ගෘහනියන්ට මෙන්ම විශ්‍රාමික පුද්ගලයන්ටත් මෙය පහසුවෙන් කරන්න පුළුවන්. උපාධි ඇති කෙනෙකුට මෙන්ම සාමාන්‍ය පෙළ සමත් නොවන කෙනෙකුට වුවත් මුදල් සොයන්න ක්‍රම අන්තර්ජාලයේ තියෙනවා. ප්‍රමාණවත් ඉංග්‍රීසි දැනුමක් සමග යම් ක්ෂේත්‍රයක  දැනුමක් සහ කාලය කළමනාකරණයට සමත් කෙනෙකුට හොඳ කැපවීමක් ඇත්නම් පහසුවෙන් මුදල් සොයන්න පුළුවන්. පහසුවෙන් කියුවේ නිකන් ගෙදර ඉඳගෙන නොවේ. වැඩ කරලා.

අන්තර්ජාලය මගින් මුදල් සොයන්නේ කෙසේද?

මම මුලින්ම කියුවා වෙබ් අඩවියක්  හෝ  බ්ලොග් එකක් පවත්වා ගැනීම මගින් සල්ලි හොයන්නත් පුළුවන් නැත්නම් අන්තර්ජාලය හරහා අපේ බාණ්ඩ සහ සේවා විකුණා මුදල් සොයන්න පුළුවන්.  Forex සහ සුදුව හැර අන්තර්ජාලයෙන් මුදල් සොයන්න පුළුවන් වෙන්නේ මේ ක්‍රම දෙක මගින් පමණයි. මේවත් මම කරුණු ලෙස පැහැදිලි කරන්නම්.

වෙබ් අඩවියක්  හෝ  බ්ලොග් එකක් පවත්වා ගැනීම මගින් මුදල් සොයන්නේ කෙසේද?

මේ මගින් මුදල් සොයන්න පුළුවන් ක්‍රම 4 ක් තියෙනවා. වෙබ් අඩවිය මගින් යමක් විකිණීම හෝ වෙබ් අඩවිය ලබාදෙන සේවා සඳහා මුදල් අය කිරීම, වෙබ් අඩවිය මත දැන්වීම් දර්ශනය කිරීම, වෙනත් වෙබ් අඩවියක නිෂ්පාදනයක් විකිණීමට උදවු වී කොමිස් ගැනීම සහ තම වෙබ් අඩවිය මත වෙන වෙබ් අඩවියක් ගැන හෝ නිෂ්පාදනයක් ගැන සඳහන් කරන ලින්ක් සහිත ලිපි පළකර මුදල් සෙවීම.  වෙබ් අඩවියකට මේ ක්‍රම 4 ම හෝ කිහිපයක් මගින් මුදල් සොයන්න පුළුවන්. තම අඩවියට පැමිණෙන පුද්ගලයන් සංඛ්‍යාව මත මෙහිදී ලැබෙන මුදල් තීරණය වන බැවින් ඒ සඳහා යම් කැපකිරීමක් සිදුකල යුතුය.

තම වෙබ් අඩවිය හරහා යම් සේවාවක් හෝ දෙයක් විකිණීමට නම් එම අඩවිය ජනප්‍රිය කර ගැනීමට අමතර වෙහෙසක් විය යුතුය. එය මේ ක්‍රමයේ අවාසියකි. තනි පුද්ගලයෙකුට අපහසු වන අතර මෙය බොහෝ විට යොදාගන්නේ ලොකු සහ කුඩා  සමාගම් මගින් වේ.

වෙබ් අඩවිය මත දැන්වීම් දර්ශනය කිරීම මගින් මුදල් සෙවීමේදී කෙලින්ම දැන්වීම් ලබා ගැනීමට අපහසු බැවින් එම සේවාව සපයන අතර මැදි ආයතන පවතී Google Adsense ඉන් ප්‍රධාන වේ. මෙයට අමතරව buysellads, media.net සහ තවත් සේවා පවතී.

වෙනත් වෙබ් අඩවියක නිෂ්පාදනයක් විකිණීමට උදවු වී කොමිස් ගැනීමට පවතින වැඩසටහන් Affiliate Programs හෝ Affiliate Marketing ලෙස හදුන්වයි. මේ සඳහා ඔබගේ කපටිකම උපරිමෙන් වැදගත් වේ. ඔබ අධ්‍යාපනික වෙබ් අඩවියක් කරනවා නම් ඔබට පහසුවෙන් පොත් විකුණන වෙබ් අඩවියක නිෂ්පාදන විකිණීමට හවුල් විය හැක. මෙවැනි දේ ඔබට ගැලපෙන ලෙස තෝරාගත යුතුය. ඔබ වෙබ් අඩවි සැලසුම් පිළිඹඳ වෙබ් අඩවියක් කරනවා නම් ඔබට web hosting අඩවියක  නිෂ්පාදන විකිණීමට හවුල් විය යුතුය. මෙවැනි  Affiliate Programs සහිත වෙබ් අඩවි බොහොමයක් පවතින අතර ඉන් උදාහරණ ලෙස ඉන් කිහිපයක් නම් amazon.com, godaddy.com,  iTunes, Hotwire.com, Themeforest.net වේ. බොහෝ විට මෙවැනි සයිට් වල footer එකෙහි Affiliate Programs, Make money with us වැනි වගන්ති පවතී එවැනි වෙබ් අඩවියක් දුටු විට එමගින් මුදල් එවන ක්‍රම ලංකාවට සහය වන්නේද කියා සොයා බැලිය යුතුය.

ඔබගේ වෙබ් අඩවිය හෝ බ්ලොග් එක ජනප්‍රිය නම් හෝ වැඩි Google page rank එකක් සහිත නම්. වෙන වෙබ් අඩවියක් හෝ නිෂ්පාදනයක් පිළිඹඳ සඳහන් කර මුදල් සෙවිය හැක. ජනප්‍රිය බ්ලොග් එකකට මෙය වඩා පහසු අතර මේ සඳහාම කරන වෙබ් අඩවිද වේ. මේ සඳහා Microworkers වැනි වෙබ් අඩවි යොදා ගත හැක.

තමන්ගේ නොවන වෙබ් අඩවියක් හරහා බාණ්ඩ සහ සේවා විකුණා මුදල් සෙවීම.

ඔබට පරිගණක වැඩසටහන් හැදීම, වෙබ් අඩවි හැදීම, වෙබ් අඩවි සැලසුම් කිරීම, logo සැකසීම, graphic නිර්මාණ කිරීම වැනි දෙයක් නොපුළුවන් නම් අඩු තරමින් data entry වැඩක් හරි කරන්න පුළුවන් නම් ඔබට කළහැකි එම සේවය අනුව ව්‍යාපෘතියක් බාරගෙන නිමකර මුදල් ලබාගත හැක. ඒ සඳහා බාවිතා කළහැකි වෙබ් අඩවි අතරින් ජනප්‍රිය වන්නේ odesk.com, freelancer.com, elance.com වැනි වෙබ් අඩවි වේ. මේවා ඉතා විශ්වසනීය අඩවි වන අතර වැඩක් ඉල්ලීමට ප්‍රථම වැඩය දෙන කෙනා ගේ පෙර චර්යාව බලා ඔහු විශ්වාස කල හැකි නම් වැඩේ බාරගත හැක.

ඉහත අඩවි වල තමන්ට වැඩය දෙනකම් බාලා සිටිය යුතුවීම ලක්ෂණය වුවත් මේ අඩවි මගින් වටිනා ව්‍යාපෘති ලබා ගත හැක. එවැනි ලොකු වැඩ කිරීමට වෙලාවක් නැති කෙනෙකුට සුදුසු අඩවියක් වන්නේ Microworkers.com වේ. මෙහි ඇත්තේ පොඩි වැඩ වන අතර ඒවා ලැබෙනකම් බලා සිටිය යුතු නොවේ. තියෙන වැඩක් කර මුදල් ගත හැක.

පොඩි පොඩි වැඩ කර එක වැඩකට ඩොලර් 5 ලබා ගත හැකි වෙබ් අඩවියක් පවතී. එය නමින්  fiverr.com වේ. එහිදී තමන්ට කළහැකි වැඩය තමන් කියන අතර කෙනෙකුට එම වැඩය අවශ්‍ය නම් සහ ඔබ හොඳ කියා සිතෙනවා නම් ඔබ ලවා වැඩේ කරගෙන මුදල් ලබා දේ.

තමන්ගේ නිෂ්පාදනයක් විකිණීම හෝ අනුන්ගේ නිෂ්පාදනයක් අතර මැදියෙක් ලෙස විකිණීම සඳහා යොදා ගත හැකි වෙබ් අඩවි පවතී ප්‍රචලිත අඩවි දෙකක් නම් eBay.com සහ amazon.com වේ. සමහර පුද්ගලයන් වෙන අඩවි වලින් මිලදීගෙන eBay හරහා order එක ලබාගත් ලිපිනයට බඩුව යවනු ලබයි. මේ ක්‍රමය drop shipping ලෙස හදුන්වයි.

ඔබ වෙබ් අඩවි සැලසුම් කරුවෙක්, වෙබ් අඩවි සකසන්නෙක්, පරිගණක graphic අංශයේ ප්‍රවීනයෙක් හෝ හොඳ ජායාරූප ශිල්පියෙක් නම්. ඔබගේ නිර්මාණ විකිණිය හැකි වෙබ් අඩවි පවතී. themeforest.net, codecanyon.net, 123rf.com, fotolia.com එවැනි වෙබ් අඩවි වලට උදාහරණ වේ.

මෙයට අමතරව ad ක්ලික් කරන bux නම් හිඟන ක්‍රමයක් ඇති අතර මම එය විස්තර නොකරයි. එයට වඩා හිඟා කන එක හොඳයි.

මම ඉහත තොරතුරු මගින් අන්තර්ජාලයෙන් මුදල් සෙවිය හැකි බවත් එම සොයන ප්‍රමාණය තම හැකියාව මත තීරණය වන බවත් පෙන්වා දෙන ලදී. යථාර්තය වන්නේ කෙනෙක්  අන්තර්ජාලයෙන් මුදල් සොයා සාර්ථක වීමට නම් ඔහුට රැකියාවක් මෙන්ම මහන්සි විය යුතු බවයි. එසේ මහන්සි වුවත් ඔහු දක්ෂ නම් පිටරටක රැකියාවක් හෝ ව්‍යාපාරයක් කරනවා සමානව මුදල් සෙවිය හැක. ඔන්න මම දැන් අන්තර්ජාලයෙන් මුදල් වල යථාර්තය පෙන්වූවා.

දැන් බලමු ප්‍රෝඩාව කුමක්ද කියා. ලංකාව තුල සිටිනවා කවුරු හරි රවටා මුදල් හොයන පිරිසක් හොර වෙද්දු, සාත්තර කාරයෝ, හොර ජෝතිෂවේදීන්, ෆෙන්ෂුයි මාස්ටර් ලා වගේ අය. මේ අය දැක්කා මේ ඊ මනී සිද්දිය. ලස්සනම දේ තමයි ඔවුන්ට ඊ මනී හොයන්න දැනුමක් නැහැ නමුත් කියලා දෙන්න පුළුවන්. දානවා පත්තරේ හෝ TV එකේ දැන්වීම් මාසෙට ලක්ෂයක් සොයන්න වගේ ලස්සන කථා කියලා. සහතිකයකුත් දෙනවා ලු. තව ජාත්‍යන්තර බැංකු කාඩ් වගේ දේවල් දෙනවලු. එහෙම කියලා 5000 ක් වගේ අරන් දවසින් කියලා දෙනවා මම ඔය උඩ කියපු ටිකෙන් කොටසක්. ඒ වගේම ඒ සයිට් වල ලියා පදිංචි වන විදිය වගේ දේවල් ටිකක්. අන්තිමට අර නොමිලේ දෙන ජාත්‍යන්තර බැංකු කාඩ් එකටත් ලියාපදිංචි වන විදිය කියලා දීල ගෙදර යවනවා. ඔහොම යන බහුතරයක් තනියෙම ඊමේල් ගිණුමක් හදන්න වත් පරිගණක බැරි පිරිසක්. ඉතින් එහෙම අය ඔය සයිට් වල ලියා පදිංචි වුනා කියලා කොහොමද සල්ලි හොයන්න වැඩ කරන්නේ. අන්තිමට වෙන්නේ අර කියන ජාත්‍යන්තර බැංකු කාඩ් එවන Payoneer සමාගමටත් ලංකාව චාටර් වෙන එක. මොකද ගනුදෙනු නොවන කාඩ් එවන එකෙන් ඔවුන්ට පාඩුයි. ඊ මනී සොයන්න ඕන සහතික නොවේ වැඩ පුළුවන් වීම. ඉති ඔවුන් සහතිකේ දුන්නා කියලා කවුද පිළිගන්නේ ඒක. අනෙක් එක ඔය දෙකයි පනහේ සහතික විතරක් නොවේ Phd තිබුනත් වැඩ බැරිනම් ඊ මනී හොයන්න් බැහැ රජයේ රස්සාවල් කරනවා වගේ.

මෙම වැඩේදී මට පෙන විදියට නීතියානුකුලව ඔවුන් වැරදි නැහැ. මොකද ඔවුන් දැන්වීම් වල දාන සංඛ්‍යා වලින් මුදල් හොයන්න පුළුවන්. ඔවුන් පෙන්වන්නේ සත්‍ය කරුණු.

ඊළඟට බලමු e money නමින් වෙන මහා වංචා මොනවාද කියලා. ලංකාව තුල සිටිනවා හැමදාම රැවටෙන බහුතරයක්. සක්විති, දඬුවම්, golden key වගේ ගොඩකට රැවටුනා. තව පිරමීඩ වලට රැවටුනා. ඉතින් මේ හැම එකටම නීති ය ක්‍රියාත්මක වුනා. දැන් පිරමීඩ වලට කවුරුවත් රැවටෙන්නේ නැහැ. මහා බැංකු මෙහෙයුම් වලින් හැමෝම දැනුවත් වුනා අන්තිමට කවුරුත් පිරමීඩ දන්නා නිසා. පිරමීඩ බව නොපෙනෙන්න ජාවාරම කරනවා. මුලින්ම පිරමීඩය වැහුවේ ජාල වෙළඳාම(network marketing) වලින් අන්තිමට ඒ කත් එලිවුනා. අන්තිමට පිරමීඩේ වහන්නේ  e money වලින්. මේ ගමන කට්ටිය ලස්සනට ඔය  e money පස්සේ යනවා. සම්බන්ද වෙන්න මුලින් 60000 ක් ගෙවන්න ඕන. ලොකු වැඩක් කරන්න නැහැ සතියකට දැන්වීම් 5 ක් බලන්න ඕන දැන්වීමකට රුපියල් 1000 ක් දෙනවා. හරිම පහසුවෙන් මුදල් හොයන්න පුළුවන් කියලා කට්ටිය පොරකාගෙන යනවා. මුලින්ම මේ ක්‍රමය ක්‍රියාත්මක කලේ localadclick නමින් එක කැඩුනා එතනදී රැවටුන මිනිසුන් නැවතත් ඒ වගේම  panora සහ luminous නම් වලින් ආපු වංචාවට රැවටුනා. ඒවත් දැන් බිඳ වැටිලා. ළඟදී මහා බැංකුව ක්‍රියාත්මක වුනා දකින්න ඇති. ඔන්න ඔහොමයි අර ලස්සන ඊ මනී නමින් ප්‍රෝඩාකාර් සහ වංචාකාර මිනිසුන් ගොඩගියේ. ඒ ගැටලුව මෙතනින් ඉවර වෙන එකක් නැහැ ඉස්සරහාට ඔය පිරමීඩයම තව දෙයකින් වහලා ගෙනේවි. අපේ අයත් නිකන් ඉඳන් සල්ලි හොයන්න නේ යන්නේ කෙලින්ම ආයෙත් රැවටේවී.

සියලු පැතුම් ඉටුවන වංචාකාරයන්ට සහ ප්‍රෝඩාකාරයන්ට නොරවෙටෙන සුබ ප්‍රීතිමත් නව වසරක් ඔබ සැමට.

Friday, December 27, 2013

අපි කප් ගැසුවේ sex වලින් පමණද?(Sri Lanka Sex Search)

මෙම වසර අවසාන වීම සමග බොහෝ තැන්වල පළවූ උණුසුම් පුවතක් වුයේ මෙවරත් ගුගල් හි sex නම් වචනය වැඩිපුරම සොයා ඇති රට ලංකාව බවය. මෙම පුවතට මුල් වුයේ google trends හි මෙම වාර්තාවයි. මෙය අනුව අංක 1 ශ්‍රී ලංකාව වන අතර එයට පසුව පිළිවලින් සිටින්නේ ඉන්දියාව, ටිමෝරය, ඉතියෝපියාව, බංගලාදේශය, නේපාලය, සොලමන් දුපත්, පකිස්ථානය, පැපුවා නිවුගීනියාව, සහ වියට්නාමයයි. මෙම රටවල සමානතා කිහිපයක් ඇත. ඉංගිරිසිය දෙවන භාෂාව වීම, ලිංගික නිදහස සීමා වීම ඉන් විශේෂ වේ.
Sex search in Sri lanka

sex යනු ඇසැබි වෙබ් අඩවි සෙවීමට භාවිතා කරන එක් යෙදුමක් පමණි. එය මේ අංශයේ ඇති ඉතා ප්‍රථමික යෙදුමක් වන අතර ඉංග්‍රීසි ප්‍රවීනයන් එම වචනය මේ සඳහා භාවිතා නොකරයි. එබැවින් ඉංගිරිසිය දෙවන භාෂාව වන රටවල් මේ වචනයෙන් ඉදිරියට එම පුදුමයක් නොවේ. ඇසැබි වෙබ් අඩවි වලට පිවිසීමට හැකි සෙවුම් වචන ඉතා විශාල සංඛ්‍යාවක් පවතී ඉංගිරිසිය හුරු පුද්ගලයන් තම රුචිකත්වය අනුව සෙවීමට යොදන යෙදුම වෙනස් වන බැවින් ඉංගිරිසිය පළමු බස වන රටවල් වල ඇසැබි වෙබ් අඩවි සොයන්නෝ එකම වචනයකට කේන්ද්‍ර ගත නොවේ. එබැවින් ඉංගිරිසිය පළමු බස වන රටවල් මෙවැනි වාර්තාවල පසුපසට යෑම පුදුමයක් නොවේ. එසේම ප්‍රංශය, ජර්මනිය, රුසියන් රටවල්, චීනය,ජපානය වැනි බොහෝ රටවල් ඇසැබි වෙබ් අඩවි සොයන්නේ ඔවුන්ගේ බසින් විනා ඉන්ගිරිසි sex යන වචනය යොදා නොවේ. එසේම ලොව සමහර රටවල ජනප්‍රිය සෙවුම් යන්තරය ගුගල් නොවේ. එසේම  ඇසැබි වෙබ් අඩවි වලට යන එම අංශයේ ප්‍රවීනයන් කෙලින්ම එම සයිට් වල නම් භාවිත කර ඇතුල් වන අතර නොඑසේ නම් බුක් මාර්ක් යොදා ගනී.

එබැවින් අප තේරුම් ගත යුත්තේ මෙම වාර්තාවෙන් දැක්වෙන්නේ ලංකාව sex යන වචනය යොදා ගුගල්කරන රටවල් වලින් අංක එක නමුත් වැඩිපුරම ඇසැබි වෙබ් අඩවි වලට යන්නන් සිටින රට නොවන බවය.

කෙසේ නමුත් ලංකාවේ පුද්ගලයන් මෙම අඩවි වලට හුරුවී වටිනා කාලය  විනාශ කරන බව අමතක නොකළ යුතුය. එයට හොඳම සාක්ෂිය වන්නේ ලංකාවේ ජනප්‍රිය අඩවි අතර ලෝකයේ ප්‍රධාන ඇසැබි අඩවිද පැවතීමයි.

ඇසැබි වෙබ් අඩවි වලට යාමට භාවිතා කල හැකි තවත් ප්‍රථමික සෙවුම් වචන වන porn, xxx, sex videos මෙන්ම ජනප්‍රිය වෙබ් අඩවි වල නම් google trends යොදා සෙවූ විටද ඉහත රටවල් සෙට් එකම පෙරමුණ ගනී. එනම් මෙම රටවල ලිංගික නිදහස සීමා වීම නිසා යම් අසහනයක් මෙම රටවල තිබීම මෙම වාර්තා මගින් ප්‍රකට වේ. ඇසැබි වෙබ් අඩවි තහනම් කිරීම මගින් මෙම සමාජ ව්‍යසනය නතර කල නොහැකි බව බලධාරීන් තේරුම් ගත යුතුය.

බොහෝ මිනිසුනේ සිරිත වැරදි සෙවීම විනා හොඳ දැකීම නොවේ. අපේ අය බොහෝ වැදගත් තොරතුරු සෙවීම අතින් ද ඉදිරියෙන් සිටී. 2013 සඳහා ගත් එවැනි  සෙවුම් කිහිපයක් google trends වාර්තා මගින් මම පෙන්වන්නම්.

Spoken English පිළිබඳව සෙවීමෙන් ලෝකයෙන්ම ලංකාව අංක එක.
Spoken English

Internet money  සෙවීමෙන් ලෝකයෙන්ම ලංකාව අංක එක
Internet money

Web hosting පිළිබඳව සෙවීමෙන් ලෝකයෙන්ම ලංකාව අංක එක.
Web hosting

Web design පිළිබඳව සෙවීමෙන් ලෝකයෙන්ම ලංකාව අංක එක.
Web design

තවද house design, house plans, c#.net, vb.net, asp.net, java, php වැනි බොහෝ සෙවුම් වලදීද ලංකාව පලවෙනි තැන නොවුනත් මුල් පිහිටුම් වල සිටී.

මේ මම සෙවූ කිහිපයක් පමණි. අපරටට වඩා මිනිසුන් විශාල ලෙස සිටින බොහෝ රටවල් අතරින් අන්තර්ජාලයේ විවිද දේ සෙවීම් අතින් ලංකාව ඉදිරියට පැමිණීම ලංකාවේ පරිගණක සාක්ෂරතාවයේ දියුණුව පිළිබිඹු කරයි.  ලංකාවේ පරිගණක සාක්ෂරතාවය ඉහල රටක එය හොඳ මෙන්ම නරක පැත්තටද යෙදීම පිළිඹඳ තාක්ෂණයට බය විය යුතු නොවේ. සිදු විය යුත්තේ පිළිකාවක් මෙන් පැතිර ඇති ලිංගික අසහනය අප සමාජයෙන් තුරන් කිරීමයි.



Thursday, December 26, 2013

ආයුබෝවන්

මම තොරතුරු තාක්ෂණ අංශයට සම්බන්ද තඩි කළු සිංහලයෙක්. මගේ දැනුම සහ අත්දැකීම් බෙදාගැනීම මෙය හරහා සිදු කිරීමට සුදානම්.