Wednesday, January 1, 2014

අන්තර්ජාලයෙන් මුදල් පිළිඹඳ යථාර්තය, ප්‍රෝඩාව සහ වංචාව(Truth Of Internet Money In Sri Lanka)

මම කලින් ලිපිය මහින් අප රට 2013 වසරේ ගුගල් සෙවීම් වලින් වෙන රටවලට සාපේක්ෂව ඉදිරියෙන් ඉන්නේ sex වලින් පමණක් නොවන බව පෙන්වා දෙන ලදී. එසේ ඉදිරියෙන් ඉන්න අනෙක් අංශ වලින් එකක් වන්නේ  Internet Money හෙවත් අන්තර්ජාල මුදල් වේ. එබැවින් අනිවාර්යෙන් ඔබ ඒ ගැන අසා ඇති. සමහර විට ඔබ අන්තර්ජාලය මගින් මුදල් සොයනවා වෙන්න පුළුවන්.  අනිවාර්යෙන්ම මෙය කියවන අය අතර ඉන්නවා මේ ගැන නිවැරදි අවබෝදයක් නැති පිරිසක්. අන්න ඒ පිරිස ඉලක්ක කරගෙන බිහිවූ ප්‍රෝඩා කාරයන් සහ වංචා කාරයන් පිරිසක් මේ වෙන විට බිහිවී අවසානයි. ඔවුන් දැනට වසර ගණනාවක සිට ක්‍රියාත්මකයි. මෙම ලිපියේ අරමුණ එවැන්නන්ට යමෙක් රැවටීමට ඇති ඉඩකඩ අවම කිරීමයි. මම මේ ලිපිය ලියන්නේ මේ පිළිඹඳ කිසිවක් නොදන්නා අය මෙන්ම දන්නා අයටද යමක් ගත හැකිවන පරිදි වේ. එබැවින් ඔබ සියලු දෙනාට මෙය වැදගත්වේ යයි සිතමි. මේ ගැන ඔබට ඇති විය හැකි ගැටළු කිහිපයක් සහ ඒවාට මගේ පිළිතුරු.

අන්තර්ජාලය මගින් මුදල් සොයන්න පුලුවන්ද?

ඔවු අනිවාර්යෙන්ම පුළුවන්. අන්තර්ජාලය කියන්නේ එක් ව්‍යාපාර ක්ෂේත්‍රයක්. බොහෝ වෙබ් අඩවි වල පරමාර්ථයම මුදල් සෙවීම. ඒ සඳහා විවිද ක්‍රම තියෙනවා. පොඩ්ඩක් හිතන්න Google, Facebook, eBay, Paypal, Amazon වගේ විශාල වෙබ් අඩවි කියන්නේ අන්තර්ජාලයේ සිදුවන ව්‍යාපාර. ඔවුන් කරන්නෙත් අන්තර්ජාලය මගින් මුදල් සොයන එක. අපිටත් වෙබ් අඩවි හෝ  බ්ලොග් එකක් සාදා ගැනීම මගින් සල්ලි හොයන්නත් පුළුවන් නැත්නම් අන්තර්ජාලය හරහා අපේ බාණ්ඩ සහ සේවා විකුණා මුදල් සොයන්න පුළුවන්. තව ලංකාවේ කොටස් වෙළඳපොල වැනි දේ සමග ගනුදෙනු සඳහා අන්තර්ජාලය බාවිතා කරන්න පුළුවන් නමුත් එය අන්තර්ජාලය මගින් සිදු කරන මුදල් සෙවීමක් ලෙස නම් කරන්න බැහැ. එයට අමතරව මුදල් මිලදීගැනීම සහ හුවමාරු කිරීම හෙවත් Forex මගින් මුදල් සොයන්න පුළුවන් එය මම දන්නා පරිදි ලංකාවේදී තහනම් දෙයක් ඒ වගේම මම මෙය අනුමත කරන්නේ නැහැ.

අන්තර්ජාලය මගින් මුදල් සොයන්න පුළුවන් කාටද?

බබෙක් නොවන ඕනෑම කෙනෙකුට පුළුවන්. සමහර පාසල් සිසුන් පවා මේවාට යොමු වීම එක ව්‍යසනයක්. එබැවින් ඔවුන්ට වැඩිදුර ඉගෙන ගැනීමට ඇති අවස්ථා පවා මින් අහිමි වෙන්න පුළුවන්. ඒක නිසා මගේ අදහස මෙය ඔවුන්ට එතරම් හොඳ නැහැ. ඔවුන් හැර සියලු දෙනාට අමතර මෙන්ම ප්‍රධාන අදායම් මග ලෙස මෙය යොදා ගන්න පුළුවන්. ගෘහනියන්ට මෙන්ම විශ්‍රාමික පුද්ගලයන්ටත් මෙය පහසුවෙන් කරන්න පුළුවන්. උපාධි ඇති කෙනෙකුට මෙන්ම සාමාන්‍ය පෙළ සමත් නොවන කෙනෙකුට වුවත් මුදල් සොයන්න ක්‍රම අන්තර්ජාලයේ තියෙනවා. ප්‍රමාණවත් ඉංග්‍රීසි දැනුමක් සමග යම් ක්ෂේත්‍රයක  දැනුමක් සහ කාලය කළමනාකරණයට සමත් කෙනෙකුට හොඳ කැපවීමක් ඇත්නම් පහසුවෙන් මුදල් සොයන්න පුළුවන්. පහසුවෙන් කියුවේ නිකන් ගෙදර ඉඳගෙන නොවේ. වැඩ කරලා.

අන්තර්ජාලය මගින් මුදල් සොයන්නේ කෙසේද?

මම මුලින්ම කියුවා වෙබ් අඩවියක්  හෝ  බ්ලොග් එකක් පවත්වා ගැනීම මගින් සල්ලි හොයන්නත් පුළුවන් නැත්නම් අන්තර්ජාලය හරහා අපේ බාණ්ඩ සහ සේවා විකුණා මුදල් සොයන්න පුළුවන්.  Forex සහ සුදුව හැර අන්තර්ජාලයෙන් මුදල් සොයන්න පුළුවන් වෙන්නේ මේ ක්‍රම දෙක මගින් පමණයි. මේවත් මම කරුණු ලෙස පැහැදිලි කරන්නම්.

වෙබ් අඩවියක්  හෝ  බ්ලොග් එකක් පවත්වා ගැනීම මගින් මුදල් සොයන්නේ කෙසේද?

මේ මගින් මුදල් සොයන්න පුළුවන් ක්‍රම 4 ක් තියෙනවා. වෙබ් අඩවිය මගින් යමක් විකිණීම හෝ වෙබ් අඩවිය ලබාදෙන සේවා සඳහා මුදල් අය කිරීම, වෙබ් අඩවිය මත දැන්වීම් දර්ශනය කිරීම, වෙනත් වෙබ් අඩවියක නිෂ්පාදනයක් විකිණීමට උදවු වී කොමිස් ගැනීම සහ තම වෙබ් අඩවිය මත වෙන වෙබ් අඩවියක් ගැන හෝ නිෂ්පාදනයක් ගැන සඳහන් කරන ලින්ක් සහිත ලිපි පළකර මුදල් සෙවීම.  වෙබ් අඩවියකට මේ ක්‍රම 4 ම හෝ කිහිපයක් මගින් මුදල් සොයන්න පුළුවන්. තම අඩවියට පැමිණෙන පුද්ගලයන් සංඛ්‍යාව මත මෙහිදී ලැබෙන මුදල් තීරණය වන බැවින් ඒ සඳහා යම් කැපකිරීමක් සිදුකල යුතුය.

තම වෙබ් අඩවිය හරහා යම් සේවාවක් හෝ දෙයක් විකිණීමට නම් එම අඩවිය ජනප්‍රිය කර ගැනීමට අමතර වෙහෙසක් විය යුතුය. එය මේ ක්‍රමයේ අවාසියකි. තනි පුද්ගලයෙකුට අපහසු වන අතර මෙය බොහෝ විට යොදාගන්නේ ලොකු සහ කුඩා  සමාගම් මගින් වේ.

වෙබ් අඩවිය මත දැන්වීම් දර්ශනය කිරීම මගින් මුදල් සෙවීමේදී කෙලින්ම දැන්වීම් ලබා ගැනීමට අපහසු බැවින් එම සේවාව සපයන අතර මැදි ආයතන පවතී Google Adsense ඉන් ප්‍රධාන වේ. මෙයට අමතරව buysellads, media.net සහ තවත් සේවා පවතී.

වෙනත් වෙබ් අඩවියක නිෂ්පාදනයක් විකිණීමට උදවු වී කොමිස් ගැනීමට පවතින වැඩසටහන් Affiliate Programs හෝ Affiliate Marketing ලෙස හදුන්වයි. මේ සඳහා ඔබගේ කපටිකම උපරිමෙන් වැදගත් වේ. ඔබ අධ්‍යාපනික වෙබ් අඩවියක් කරනවා නම් ඔබට පහසුවෙන් පොත් විකුණන වෙබ් අඩවියක නිෂ්පාදන විකිණීමට හවුල් විය හැක. මෙවැනි දේ ඔබට ගැලපෙන ලෙස තෝරාගත යුතුය. ඔබ වෙබ් අඩවි සැලසුම් පිළිඹඳ වෙබ් අඩවියක් කරනවා නම් ඔබට web hosting අඩවියක  නිෂ්පාදන විකිණීමට හවුල් විය යුතුය. මෙවැනි  Affiliate Programs සහිත වෙබ් අඩවි බොහොමයක් පවතින අතර ඉන් උදාහරණ ලෙස ඉන් කිහිපයක් නම් amazon.com, godaddy.com,  iTunes, Hotwire.com, Themeforest.net වේ. බොහෝ විට මෙවැනි සයිට් වල footer එකෙහි Affiliate Programs, Make money with us වැනි වගන්ති පවතී එවැනි වෙබ් අඩවියක් දුටු විට එමගින් මුදල් එවන ක්‍රම ලංකාවට සහය වන්නේද කියා සොයා බැලිය යුතුය.

ඔබගේ වෙබ් අඩවිය හෝ බ්ලොග් එක ජනප්‍රිය නම් හෝ වැඩි Google page rank එකක් සහිත නම්. වෙන වෙබ් අඩවියක් හෝ නිෂ්පාදනයක් පිළිඹඳ සඳහන් කර මුදල් සෙවිය හැක. ජනප්‍රිය බ්ලොග් එකකට මෙය වඩා පහසු අතර මේ සඳහාම කරන වෙබ් අඩවිද වේ. මේ සඳහා Microworkers වැනි වෙබ් අඩවි යොදා ගත හැක.

තමන්ගේ නොවන වෙබ් අඩවියක් හරහා බාණ්ඩ සහ සේවා විකුණා මුදල් සෙවීම.

ඔබට පරිගණක වැඩසටහන් හැදීම, වෙබ් අඩවි හැදීම, වෙබ් අඩවි සැලසුම් කිරීම, logo සැකසීම, graphic නිර්මාණ කිරීම වැනි දෙයක් නොපුළුවන් නම් අඩු තරමින් data entry වැඩක් හරි කරන්න පුළුවන් නම් ඔබට කළහැකි එම සේවය අනුව ව්‍යාපෘතියක් බාරගෙන නිමකර මුදල් ලබාගත හැක. ඒ සඳහා බාවිතා කළහැකි වෙබ් අඩවි අතරින් ජනප්‍රිය වන්නේ odesk.com, freelancer.com, elance.com වැනි වෙබ් අඩවි වේ. මේවා ඉතා විශ්වසනීය අඩවි වන අතර වැඩක් ඉල්ලීමට ප්‍රථම වැඩය දෙන කෙනා ගේ පෙර චර්යාව බලා ඔහු විශ්වාස කල හැකි නම් වැඩේ බාරගත හැක.

ඉහත අඩවි වල තමන්ට වැඩය දෙනකම් බාලා සිටිය යුතුවීම ලක්ෂණය වුවත් මේ අඩවි මගින් වටිනා ව්‍යාපෘති ලබා ගත හැක. එවැනි ලොකු වැඩ කිරීමට වෙලාවක් නැති කෙනෙකුට සුදුසු අඩවියක් වන්නේ Microworkers.com වේ. මෙහි ඇත්තේ පොඩි වැඩ වන අතර ඒවා ලැබෙනකම් බලා සිටිය යුතු නොවේ. තියෙන වැඩක් කර මුදල් ගත හැක.

පොඩි පොඩි වැඩ කර එක වැඩකට ඩොලර් 5 ලබා ගත හැකි වෙබ් අඩවියක් පවතී. එය නමින්  fiverr.com වේ. එහිදී තමන්ට කළහැකි වැඩය තමන් කියන අතර කෙනෙකුට එම වැඩය අවශ්‍ය නම් සහ ඔබ හොඳ කියා සිතෙනවා නම් ඔබ ලවා වැඩේ කරගෙන මුදල් ලබා දේ.

තමන්ගේ නිෂ්පාදනයක් විකිණීම හෝ අනුන්ගේ නිෂ්පාදනයක් අතර මැදියෙක් ලෙස විකිණීම සඳහා යොදා ගත හැකි වෙබ් අඩවි පවතී ප්‍රචලිත අඩවි දෙකක් නම් eBay.com සහ amazon.com වේ. සමහර පුද්ගලයන් වෙන අඩවි වලින් මිලදීගෙන eBay හරහා order එක ලබාගත් ලිපිනයට බඩුව යවනු ලබයි. මේ ක්‍රමය drop shipping ලෙස හදුන්වයි.

ඔබ වෙබ් අඩවි සැලසුම් කරුවෙක්, වෙබ් අඩවි සකසන්නෙක්, පරිගණක graphic අංශයේ ප්‍රවීනයෙක් හෝ හොඳ ජායාරූප ශිල්පියෙක් නම්. ඔබගේ නිර්මාණ විකිණිය හැකි වෙබ් අඩවි පවතී. themeforest.net, codecanyon.net, 123rf.com, fotolia.com එවැනි වෙබ් අඩවි වලට උදාහරණ වේ.

මෙයට අමතරව ad ක්ලික් කරන bux නම් හිඟන ක්‍රමයක් ඇති අතර මම එය විස්තර නොකරයි. එයට වඩා හිඟා කන එක හොඳයි.

මම ඉහත තොරතුරු මගින් අන්තර්ජාලයෙන් මුදල් සෙවිය හැකි බවත් එම සොයන ප්‍රමාණය තම හැකියාව මත තීරණය වන බවත් පෙන්වා දෙන ලදී. යථාර්තය වන්නේ කෙනෙක්  අන්තර්ජාලයෙන් මුදල් සොයා සාර්ථක වීමට නම් ඔහුට රැකියාවක් මෙන්ම මහන්සි විය යුතු බවයි. එසේ මහන්සි වුවත් ඔහු දක්ෂ නම් පිටරටක රැකියාවක් හෝ ව්‍යාපාරයක් කරනවා සමානව මුදල් සෙවිය හැක. ඔන්න මම දැන් අන්තර්ජාලයෙන් මුදල් වල යථාර්තය පෙන්වූවා.

දැන් බලමු ප්‍රෝඩාව කුමක්ද කියා. ලංකාව තුල සිටිනවා කවුරු හරි රවටා මුදල් හොයන පිරිසක් හොර වෙද්දු, සාත්තර කාරයෝ, හොර ජෝතිෂවේදීන්, ෆෙන්ෂුයි මාස්ටර් ලා වගේ අය. මේ අය දැක්කා මේ ඊ මනී සිද්දිය. ලස්සනම දේ තමයි ඔවුන්ට ඊ මනී හොයන්න දැනුමක් නැහැ නමුත් කියලා දෙන්න පුළුවන්. දානවා පත්තරේ හෝ TV එකේ දැන්වීම් මාසෙට ලක්ෂයක් සොයන්න වගේ ලස්සන කථා කියලා. සහතිකයකුත් දෙනවා ලු. තව ජාත්‍යන්තර බැංකු කාඩ් වගේ දේවල් දෙනවලු. එහෙම කියලා 5000 ක් වගේ අරන් දවසින් කියලා දෙනවා මම ඔය උඩ කියපු ටිකෙන් කොටසක්. ඒ වගේම ඒ සයිට් වල ලියා පදිංචි වන විදිය වගේ දේවල් ටිකක්. අන්තිමට අර නොමිලේ දෙන ජාත්‍යන්තර බැංකු කාඩ් එකටත් ලියාපදිංචි වන විදිය කියලා දීල ගෙදර යවනවා. ඔහොම යන බහුතරයක් තනියෙම ඊමේල් ගිණුමක් හදන්න වත් පරිගණක බැරි පිරිසක්. ඉතින් එහෙම අය ඔය සයිට් වල ලියා පදිංචි වුනා කියලා කොහොමද සල්ලි හොයන්න වැඩ කරන්නේ. අන්තිමට වෙන්නේ අර කියන ජාත්‍යන්තර බැංකු කාඩ් එවන Payoneer සමාගමටත් ලංකාව චාටර් වෙන එක. මොකද ගනුදෙනු නොවන කාඩ් එවන එකෙන් ඔවුන්ට පාඩුයි. ඊ මනී සොයන්න ඕන සහතික නොවේ වැඩ පුළුවන් වීම. ඉති ඔවුන් සහතිකේ දුන්නා කියලා කවුද පිළිගන්නේ ඒක. අනෙක් එක ඔය දෙකයි පනහේ සහතික විතරක් නොවේ Phd තිබුනත් වැඩ බැරිනම් ඊ මනී හොයන්න් බැහැ රජයේ රස්සාවල් කරනවා වගේ.

මෙම වැඩේදී මට පෙන විදියට නීතියානුකුලව ඔවුන් වැරදි නැහැ. මොකද ඔවුන් දැන්වීම් වල දාන සංඛ්‍යා වලින් මුදල් හොයන්න පුළුවන්. ඔවුන් පෙන්වන්නේ සත්‍ය කරුණු.

ඊළඟට බලමු e money නමින් වෙන මහා වංචා මොනවාද කියලා. ලංකාව තුල සිටිනවා හැමදාම රැවටෙන බහුතරයක්. සක්විති, දඬුවම්, golden key වගේ ගොඩකට රැවටුනා. තව පිරමීඩ වලට රැවටුනා. ඉතින් මේ හැම එකටම නීති ය ක්‍රියාත්මක වුනා. දැන් පිරමීඩ වලට කවුරුවත් රැවටෙන්නේ නැහැ. මහා බැංකු මෙහෙයුම් වලින් හැමෝම දැනුවත් වුනා අන්තිමට කවුරුත් පිරමීඩ දන්නා නිසා. පිරමීඩ බව නොපෙනෙන්න ජාවාරම කරනවා. මුලින්ම පිරමීඩය වැහුවේ ජාල වෙළඳාම(network marketing) වලින් අන්තිමට ඒ කත් එලිවුනා. අන්තිමට පිරමීඩේ වහන්නේ  e money වලින්. මේ ගමන කට්ටිය ලස්සනට ඔය  e money පස්සේ යනවා. සම්බන්ද වෙන්න මුලින් 60000 ක් ගෙවන්න ඕන. ලොකු වැඩක් කරන්න නැහැ සතියකට දැන්වීම් 5 ක් බලන්න ඕන දැන්වීමකට රුපියල් 1000 ක් දෙනවා. හරිම පහසුවෙන් මුදල් හොයන්න පුළුවන් කියලා කට්ටිය පොරකාගෙන යනවා. මුලින්ම මේ ක්‍රමය ක්‍රියාත්මක කලේ localadclick නමින් එක කැඩුනා එතනදී රැවටුන මිනිසුන් නැවතත් ඒ වගේම  panora සහ luminous නම් වලින් ආපු වංචාවට රැවටුනා. ඒවත් දැන් බිඳ වැටිලා. ළඟදී මහා බැංකුව ක්‍රියාත්මක වුනා දකින්න ඇති. ඔන්න ඔහොමයි අර ලස්සන ඊ මනී නමින් ප්‍රෝඩාකාර් සහ වංචාකාර මිනිසුන් ගොඩගියේ. ඒ ගැටලුව මෙතනින් ඉවර වෙන එකක් නැහැ ඉස්සරහාට ඔය පිරමීඩයම තව දෙයකින් වහලා ගෙනේවි. අපේ අයත් නිකන් ඉඳන් සල්ලි හොයන්න නේ යන්නේ කෙලින්ම ආයෙත් රැවටේවී.

සියලු පැතුම් ඉටුවන වංචාකාරයන්ට සහ ප්‍රෝඩාකාරයන්ට නොරවෙටෙන සුබ ප්‍රීතිමත් නව වසරක් ඔබ සැමට.

Friday, December 27, 2013

අපි කප් ගැසුවේ sex වලින් පමණද?(Sri Lanka Sex Search)

මෙම වසර අවසාන වීම සමග බොහෝ තැන්වල පළවූ උණුසුම් පුවතක් වුයේ මෙවරත් ගුගල් හි sex නම් වචනය වැඩිපුරම සොයා ඇති රට ලංකාව බවය. මෙම පුවතට මුල් වුයේ google trends හි මෙම වාර්තාවයි. මෙය අනුව අංක 1 ශ්‍රී ලංකාව වන අතර එයට පසුව පිළිවලින් සිටින්නේ ඉන්දියාව, ටිමෝරය, ඉතියෝපියාව, බංගලාදේශය, නේපාලය, සොලමන් දුපත්, පකිස්ථානය, පැපුවා නිවුගීනියාව, සහ වියට්නාමයයි. මෙම රටවල සමානතා කිහිපයක් ඇත. ඉංගිරිසිය දෙවන භාෂාව වීම, ලිංගික නිදහස සීමා වීම ඉන් විශේෂ වේ.
Sex search in Sri lanka

sex යනු ඇසැබි වෙබ් අඩවි සෙවීමට භාවිතා කරන එක් යෙදුමක් පමණි. එය මේ අංශයේ ඇති ඉතා ප්‍රථමික යෙදුමක් වන අතර ඉංග්‍රීසි ප්‍රවීනයන් එම වචනය මේ සඳහා භාවිතා නොකරයි. එබැවින් ඉංගිරිසිය දෙවන භාෂාව වන රටවල් මේ වචනයෙන් ඉදිරියට එම පුදුමයක් නොවේ. ඇසැබි වෙබ් අඩවි වලට පිවිසීමට හැකි සෙවුම් වචන ඉතා විශාල සංඛ්‍යාවක් පවතී ඉංගිරිසිය හුරු පුද්ගලයන් තම රුචිකත්වය අනුව සෙවීමට යොදන යෙදුම වෙනස් වන බැවින් ඉංගිරිසිය පළමු බස වන රටවල් වල ඇසැබි වෙබ් අඩවි සොයන්නෝ එකම වචනයකට කේන්ද්‍ර ගත නොවේ. එබැවින් ඉංගිරිසිය පළමු බස වන රටවල් මෙවැනි වාර්තාවල පසුපසට යෑම පුදුමයක් නොවේ. එසේම ප්‍රංශය, ජර්මනිය, රුසියන් රටවල්, චීනය,ජපානය වැනි බොහෝ රටවල් ඇසැබි වෙබ් අඩවි සොයන්නේ ඔවුන්ගේ බසින් විනා ඉන්ගිරිසි sex යන වචනය යොදා නොවේ. එසේම ලොව සමහර රටවල ජනප්‍රිය සෙවුම් යන්තරය ගුගල් නොවේ. එසේම  ඇසැබි වෙබ් අඩවි වලට යන එම අංශයේ ප්‍රවීනයන් කෙලින්ම එම සයිට් වල නම් භාවිත කර ඇතුල් වන අතර නොඑසේ නම් බුක් මාර්ක් යොදා ගනී.

එබැවින් අප තේරුම් ගත යුත්තේ මෙම වාර්තාවෙන් දැක්වෙන්නේ ලංකාව sex යන වචනය යොදා ගුගල්කරන රටවල් වලින් අංක එක නමුත් වැඩිපුරම ඇසැබි වෙබ් අඩවි වලට යන්නන් සිටින රට නොවන බවය.

කෙසේ නමුත් ලංකාවේ පුද්ගලයන් මෙම අඩවි වලට හුරුවී වටිනා කාලය  විනාශ කරන බව අමතක නොකළ යුතුය. එයට හොඳම සාක්ෂිය වන්නේ ලංකාවේ ජනප්‍රිය අඩවි අතර ලෝකයේ ප්‍රධාන ඇසැබි අඩවිද පැවතීමයි.

ඇසැබි වෙබ් අඩවි වලට යාමට භාවිතා කල හැකි තවත් ප්‍රථමික සෙවුම් වචන වන porn, xxx, sex videos මෙන්ම ජනප්‍රිය වෙබ් අඩවි වල නම් google trends යොදා සෙවූ විටද ඉහත රටවල් සෙට් එකම පෙරමුණ ගනී. එනම් මෙම රටවල ලිංගික නිදහස සීමා වීම නිසා යම් අසහනයක් මෙම රටවල තිබීම මෙම වාර්තා මගින් ප්‍රකට වේ. ඇසැබි වෙබ් අඩවි තහනම් කිරීම මගින් මෙම සමාජ ව්‍යසනය නතර කල නොහැකි බව බලධාරීන් තේරුම් ගත යුතුය.

බොහෝ මිනිසුනේ සිරිත වැරදි සෙවීම විනා හොඳ දැකීම නොවේ. අපේ අය බොහෝ වැදගත් තොරතුරු සෙවීම අතින් ද ඉදිරියෙන් සිටී. 2013 සඳහා ගත් එවැනි  සෙවුම් කිහිපයක් google trends වාර්තා මගින් මම පෙන්වන්නම්.

Spoken English පිළිබඳව සෙවීමෙන් ලෝකයෙන්ම ලංකාව අංක එක.
Spoken English

Internet money  සෙවීමෙන් ලෝකයෙන්ම ලංකාව අංක එක
Internet money

Web hosting පිළිබඳව සෙවීමෙන් ලෝකයෙන්ම ලංකාව අංක එක.
Web hosting

Web design පිළිබඳව සෙවීමෙන් ලෝකයෙන්ම ලංකාව අංක එක.
Web design

තවද house design, house plans, c#.net, vb.net, asp.net, java, php වැනි බොහෝ සෙවුම් වලදීද ලංකාව පලවෙනි තැන නොවුනත් මුල් පිහිටුම් වල සිටී.

මේ මම සෙවූ කිහිපයක් පමණි. අපරටට වඩා මිනිසුන් විශාල ලෙස සිටින බොහෝ රටවල් අතරින් අන්තර්ජාලයේ විවිද දේ සෙවීම් අතින් ලංකාව ඉදිරියට පැමිණීම ලංකාවේ පරිගණක සාක්ෂරතාවයේ දියුණුව පිළිබිඹු කරයි.  ලංකාවේ පරිගණක සාක්ෂරතාවය ඉහල රටක එය හොඳ මෙන්ම නරක පැත්තටද යෙදීම පිළිඹඳ තාක්ෂණයට බය විය යුතු නොවේ. සිදු විය යුත්තේ පිළිකාවක් මෙන් පැතිර ඇති ලිංගික අසහනය අප සමාජයෙන් තුරන් කිරීමයි.



Thursday, December 26, 2013

ආයුබෝවන්

මම තොරතුරු තාක්ෂණ අංශයට සම්බන්ද තඩි කළු සිංහලයෙක්. මගේ දැනුම සහ අත්දැකීම් බෙදාගැනීම මෙය හරහා සිදු කිරීමට සුදානම්.