Saturday, April 25, 2015

පන්සලේ ජරමරේ...!!!(Crisis of ------------------------)


එක ගමක පන්සලක 'කපටි' පොඩි හාමුදුරු නමක් බණක් භාවනාවක් එහෙම කරං ගමේ මිනිස්සුන්ට ප්‍රශ්ණ ආවම ඒවටත් උපකාර කරං හිටියා... එයාට හැමෝම ලොකු හාමුදුරුවන්ටත් වඩා ගරු සත්කාර කරා.. කාලයක් යන කොට මෑන් බැලුවා දැන් මම තමයි පන්සලේ ජනප්‍රියම.. දැන් තමයි වෙලාව ලොකු හාමුදුරුවොන්ට ගේමක් දීලා පන්සලේ බලේ අල්ල ගන්න කියලා.. මේ පොඩි නම කාලයක් තිස්සෙ හිතේ හංගං හිටපු ආසාවක් තමයි... මේ පන්සලේ මහ පුටුව..

ඔහෝම ඉන්න කොට තමයි දවසක් අල්ලපු භාරත ගම හොල්ලන් ඉන්න කසිප්පු මුදලාලි මේ පොඩි නමට මුලිච්චි වෙන්නෙ.. මේ කසිප්පු මුදලාලිගෙ බිස්නස් වලට අංචි ඇදපු නිසා මෙයාටත් ලොකු හාමුදුරුවො මල ඇණයක් වෙලයි තිබුනෙ.. ඕක පොඩි නම හොඳටම දැන ගෙන හිටියා.. දැන් දෙන්නා ගැහුවා ප්ලෑනක් ලොකු හාමුදුරුවො එලවලා දාන්න.. ප්ලෑන අනුව මුලින්ම තිබුනෙ පන්සලේ සෑහෙන්න කාලයක් ඇබිත්තිකම කරන් හිටපු තලත්තෑනි සේන මාමට සිවුරක් අන්දලා පංසලේ මහ පුටුවට ගේන්න.. මොකෝ එහෙම කරේ.. ගමේ අය පොඩි නමට කැමති උනාට දැන්ම මහ පුටුව භාර දෙන්න ලැහැස්ති නැති බව මේ කපටි පොඩි නම දැනගෙන හිටියා.. ටික කාලයකින් ලේසියෙන්ම සේනයා එලෙව්වම තමන්ට නිකම්ම පන්සල අයිති කරගන්න තමයි පොඩි නම ප්ලෑන් කරේ...

දැන් දෙන්නා කතිකා කර ගත් විදිහට වැඩේට බැස්සා... උපතින්ම කුලෑටි චරිතයක් වෙච්ච සේන මාමා මුලින්ම බය උනා.. අදිමදි කරා... කැමති උනේ නෑ වැඩේට... ඒත් සේන මාමාව පොඩි කාලෙ ඉදන් නාවලා කවලා පොවලා බලාගත්තු චන්ද්‍රා ඇන්ටි ලව්වා සේන මාමාව කැමති කර ගන්න පුළුවන් උනා.. සේනයා චන්ද්‍රා ඇන්ටිට ලොකු හාමුදුරුවන්ටත් වඩා ගූ බයයි... එයා කියන ඕනැ දෙයක් කරනවා කියලා පොඩි නම දැනගෙන උන්නා.. තමන් කුළඟන සමිතියේ සභාපතිකමින් පන්නපු වාඩුව තමන්ට පෙන්නන්න බැරි ලොකු හාමුදුරුවන්ගෙන් ගන්න චන්ද්‍රා ඇන්ටි කල් යල් බලනවා කියලත් පොඩි නම දැනගෙන උන්නා..

ප්ලෑනට අනුව සේන මාමාව කරලියට ගේන්න කලින් ලොකු හාමුදුරුවන්ගෙ චරිතය නැති කිරීමේ මෙහෙයුමක් ක්‍රියාත්මක උනා.. කසිප්පු මුදලාලි ඒකට යොදා ගත්තෙ උඩින් හතුරු වෙසින් හිටියත් තමන්ගෙ ගජම මිතුරෙක් වෙච්ච අරුණ කුමාර කියලා මැදිවියේ මනුස්සයෙක්.. මෙයා කැම්පස් එහෙම ගියපු උගත් කපටියෙක්.. දහම් පාසලේ ඉගැන්නුවා.. ගමේ මළ ගෙවල්වල නයිට ගහලා කථා කිව්වා..

මෙයාට තියෙන්නෙ අමුතුම ආසාවක්.. මෙයාට ඕනැ උනේ සියළුම හාමුදුරුවො පන්නලා පන්සල බිමට සමතලා කරලා ඒ ඉඩමේ රතුපාට තින්ත ගාපු ගෙයක් හදන්න.. එයා කැම්පස් යනකාලෙ බලපු රුසියන් ෆිල්ම් එකක තිබුනු රතු ගෙයක් දැකලා තමයි මෙයාට මේ පිස්සුව හැදුනෙ.. මෙයා හොඳ කට මුකරියා හින්දා තමන්ගෙ ආසාව ඉශ්ඨ කර ගන්න රසවත් කථා කිව්වා.. පන්සල විවේචනය කරා... හාමුදුරුවො කෙටෙව්වා.. උපාසක අම්මලාට සමච්චල් කරා.. ගමේ කොළු කුරුට්ටො මෙයාගෙ කථාවලට නැට්ටෙ ඉදන් ඇඳලා හිටියෙ.. ඉතින් මෙයා ලොකු හාමුදුරුවන්ගේ චරිතය නැති කිරීමේ කොන්ත්‍රාත්තුව පැනලා බාර ගත්තා.. ලොකු හාමුදුරුවො වටේ හිටපු සමහර ගෝලයො දායකයො කරපු මජර වැඩ පවා ලොකු හාමුදුරුවන්ගෙ එකවුන්ට් එකට දැම්මා..

ලොකු හාමුදුරුවොම කරපු සමහර මංඤ්ඤං වැඩ දෙගුණ තෙගුණ නොව දහ ගුණ කර ප්‍රචාරය කරා... ආවාසයේ ඇඳ යට ඇතෙක් බරට වස්තුව ඇති බව කිව්වා.. පන්සලේ මල් අසුන, බණ මඩුව ඉදි කරන විට ගසා කෑ බව කිව්වා.. සිවුරේ ගණන් හිලව් පවා කිව්වා... මේ ළණු ගම්මු බොහොමයක් කන අතරේ සේන මාමාට සිවුරු පටලවිල්ලත් සිදු උනා...

මෙසේ ප්ලෑන ක්‍රමයෙන් ඉදිරියට ආ අතරේ දායක සභාව කැදවන දිනයත් එලැබුනා.. පොඩි නම, සිවුර දරා සිටි සේන, චන්ද්‍රා ඇන්ටී, අල්ලපු ගමේ කසිප්පු මුදලාලිගේ මේ ගමේ ගෝල බාලයන්, අරුණගේ ළණු කෑ කොළු කුරුට්ටන්, බොරුවට රැවටුනු දායකයන් එක පිලකට පැන ලොකු හාමුදුරුවන් පන්සලෙන් පලවා හරින්නට කටයුතු කරා.. සුළුතරයක් වූ ලොකු හාමුදුරුවන්ගේ අගය දත් දායකයන් කම්පා වන විට ලොකු හාමුදුරුවන්ට සිදු වූයේ ගම කෙලවර වන ලැහැබටම පලා යන්නටය...

ඒ අතරේ චීවරදාරී සේන විහාරාධිපති ලෙස මහ ආවාසයට ගිය අතර දායකයන් අතර කුජීත චරිතයක් බවට පත්ව කලකට පෙර දායක සභාව විසින් පන්සලෙන් එලවා සිටි වික්‍රමවංශ දෙවනියා ලෙස ඊලඟ ආවාසයේ පදිංචි උනා ..කපටි පොඩි නම කල් මැරීම සදහා හිටපු ආවාස ගෙයිම නැවතුනා.. අරුණ පන්සලේ ස්ථීරවම පදිංචි නොවුනත් පන්සලෙන්ම කා බී බොහෝ විට නයිට ගැසුවේ බණ මඩුවේය..

නමුත් මේ නඩයේ සොමිය වැඩිකල් පැවතුනේ නැත... සේන සිවුරු දරා මුල් පුටුවේ සිටියද ඔහු තවම හැසිරෙන්නේ ඇබිත්තයෙකු ලෙසය.. හිටි ගමන් අමතක වී සාමනේර නමට පවා වදියි.. පන්සල නැවත පැමිණ මාසයක් යන්නට පෙර වික්‍රමවංශ පිං පෙට්ටිය භාර දුන් එකා එය කඩා අතේ මාට්ටුය... චන්ද්‍රා ඇන්ටී මහ ආවාසයේ කාමරයක පදිංචි වූයේ තරුණ පිරිසකගේ හූ හඩ මැද්දේය.. බාගෙට හැදූ ඝන්ඨාර කුළුන ලත් තැනම ලොප්ය...

වැඩ ආරම්භ කිරීමට නියමිතව තිබූ පොකුණ ලොවෙත් නැත... ඇඳ පල්ලෙන් ලොකු හාමුදුරුවන්ගේ ඇතෙක් බරට තබා කටුස්සෙක් බරට වස්තුව සොයාගත නොහැකි වීමෙන් අරුණ කුමාර ගම්මුන්ගෙන් මග හරිමින් සිටී... කියූ හොරකම් කිසිවක් ඔප්පු කර ගත නොහැකිව තමන්ම ලියූ ගණන් හිලව් පත්‍රයද සගවා ආවාසය තුල සැගවෙන්නට පොඩි නමට සිදුවී ඇත්තේ ගම්මුන්ගේ හරුපවලින් ගැලවීම සදහාය... පන්සල් භූමිය වල් බිහි වී ඇත.. අල්ලපු ගමේ කසිප්පු මුදලාලිගේ ගෝලයෝ මහ දවාලේ පන්සල් වත්තේ හොර පොල් කඩන්නේ උන්ට ලියා දුන් ඉඩමක් සේ සලකාය...

මේ විගඩම් දකින ගැමියෝ තමන් කෑ ළණුව ගැන විස්සෝප වී සිටිති... ලොකු හාමුදුරුවන්ගේ අගය සිහිපත් කරති... වනයේ ඇති කුටියට ලොකු හාමුදුරුවන් සොයා යති... තවමත් පන්සල් වත්තේ වන විගඩම් වලට එහෙයි කියන්නෙ කවදත් පන්සලට ආදරයක් නොතිබුනු උන්.. අරුණගේ ළණුව සහ පොඩි නමගේ ළණුව වමාරන්නට නොහැකි උන්.. එදා සිටම ලොකු හාමුදුරුවන් ඇලජික් උන්.. කසිප්පු මුදලාලිගේ මේ ගමේ ගෝල බාලයන් වැනි කිහිපදෙනෙකි..

දායක සභාවේ බහුතර ගැමියන් දත කට මදිමින් ඉන්නේ.. මීලඟ රැස්වීම එලැබෙන තෙක්ය.. ඒ පන්සලට රිංගා සිටින බොරු ප්‍රෝඩාකාර අපත නඩය කැලෑවෙනුත් එපිටට පන්නා.. නැවත ලොකු හාමුදුරුවන්ට පන්සල භාර දීම සඳහා ය... උනු වැරැද්ද නිවැරදි කර ගැනීම සදහාය...!!!

උපුටා ගැනීමකි.  

සත්‍ය සිදුවීමකි නමුත් සිදුවුයේ පන්සලක නොවේ නම් ගම් වෙනස් කර ඇත.